2022-12-20 මාධ්‍ය සාකච්ඡාව : දේශප්‍රේමී ජාතික පෙරමුණ

දේශප්‍රේමී ජාතික පෙරමුණේ  මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

“අද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මූලික වශයෙන් අපේ අවාධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්  මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කණ්ඩායම් කැඳවලා සර්ව පාක්ෂික සමුළුවක් තියන්න යෝජනා කළා. ඒ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුණා. 

ඒ සර්ව පාක්ෂික සමුළුවෙන් පස්සේ  ඔවුන් අමතලා ඉවරවෙලා ජනාධිපතිවරයා කිව්ව දේ තමයි මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, මේ රටේ දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒ නිසා මේ දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අවුරුදු ගණනාවක් තිබුණු මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට සංහිඳියාව පදනම් වෙච්ච දේශපාලන විසඳුමක් ලබා දිය යුතුයි කියන කාරණය. අපි දැනගන්න කැමතියි පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාව මේ රටේ පාර්ලිමේන්තුව විසින් 2022 දී අහම්බෙන් ජනාධිපති ධුරයට පත් වුණේ ඇයි කියන එක. විශේෂයෙන් ම අපි කියන්න ඕනේ අර පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ ප්‍රශ්නය වෙනත් තැනක තිබිය දී උත්තරය වෙන තැනකට පිළිතුරු හොයන එක තමයි මේ සිද්ධ කරන්නේ.

අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ගේ දේශපාලන පක්ෂය සමතලා වෙලා ගිහිල්ලා තියෙන වෙලාවක ජාතික ලැයිස්තුවෙන් එකතු කර ගත්ත ඡන්ද ප්‍රමාණයත් අර ගෙන ඔහු ජාතික ලැයිස්තුවේ නමත් නැතුව තියෙද් දි තමයි පාර්ලිමේන්තුවට ආවේ.  එහෙම බලයට පත් වෙච්ච පින් අගමැතිවරයකුට, පින් ජනාධිපතිවරයකුට මොන වගේ වගකීමක් ද තියෙන්නේ කියන එක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස්වැනි වගන්තියේ (40 වගන්තිය) ඉතා පැහැදිලිව කියලා තියෙනවා.

ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. ඒ නිසා ඔහුට පැවරිලා තියෙන වගකීම තමයි 2019 දී මේ රටේ සිංහල බෞද්ධ ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කරමින් ලබා දුන්න ඒ ජනවරම ක්‍රියාත්මක කිරීම. එහෙම නැතුව ඔහුට, ඔහු වෙනුවෙන් ලැබුණු ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා විසින් ගෙනිච්ච දේශපාලනිකව පාවා දෙන, සංහිඳියාව මූලික කර ගත්ත එහෙම ලේබල් එක ගහපු දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඔහුට ජනවරමක් ලැබිලා නෑ.

ඒ නිසා මේ ජන වරම තවමත් ක්‍රියාත්මක වෙන්නේ, 2019 මේ රටේ මහා සංඝරත්න විසින් කුළු ගන්වන ලද සහ මේ රටේ ජාතික සංවිධාන විසින් කුළුගන්වන ලද ජාතිකවාදී ජනවරම කියන එක අපි කියන්නෙ කැමැතියි.

දැන් මේ අර්බුදය අස්සේ අපි දන්නවා මේ රටේ ජනතාව ගෝල්ෆේස් පිටියට ආවේ, නැත්නම් පහුගිය කාලේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව අරගලයකට ආවේ, නැත්නම් විරෝධතාවකට ආවේ මේ රටේ පැනනැගුණු  ආර්ථික අර්බුදයත් එක්ක.

එතකොට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමකින් ඔබ්බට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ඇවිල්ලා තියෙන්නේ ඔහුට 2015-2019 කාලේ අවසන් කර ගන්න බැරි වෙච්ච ෆෙඩරල් නැත්නම්  මේ රට බෙදා වෙන් කිරීමේ ප්‍රෝඩාව අවසන් කර ගැනීමේ අරමුණ ඇතිව.

අපි දන්නවා එතුමා විසින් ආරාධනා කරලා තියෙනවා “එරික් සොල්හයිම්”ට,  එතුමාගේ ජාත්‍යන්තර සගයා, 2001-2003 කාලෙදි අපේ රටේ මේ කුප්‍රකට “සටන් විරාම ගිවිසුම” අත්සන් කරලා ඉවරවෙලා උතුරු සහ නැගෙනහිර පළාත් වෙන් කරලා ඉවර වෙලා අපේ  හමුදාව සහ රණවිරුවෝ  පාවා දීපු ඒ “සටන් විරාම ගිවිසුම” ගෙනිච්ච පුද්ගලයා තමයි “එරික් සොල්හයිම්”. 

දැන් “එරික් සොල්හයිම්” ඇවිල්ලා දෙමළ පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා, අපි 2002 දි නවත්වපු තැනින් පටන් ගමු කියලා. “සොල්හයිම්” ඇවිල්ලා 2002 අපි රටක් හැටියට, ජාතියක් හැටියට නිද්‍රාශිලිත්වයට පත් කරපු ඒ සටන් විරාම ගිවිසුමෙන් දෙමළ පක්ෂවලට ආරාධනා කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා තියෙනවා 201-2019 කාලෙ එතුමාට අවසන් කර ගන්න බැරි වෙච්ච මේ බෙදුම්වාදී ව්‍යවස්ථා උවමනාව සපුර ගන්න.

මේ රටේ මේ වනකොට පවත්වන සර්වපාක්ෂික සමුළුව  සහ මේ රටේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන දේශපාලන පක්ෂවල සැබෑ ස්වරූපය මේ තියෙන “ඉරිදා ලංකාදීප” කාටුන් එකෙන් ඉතා පැහැදිලිව පේනවා.  මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ, රනිල් වික්‍රමසිංහ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂලා, විමල් වීරවංශලා ගේ උත්තර සභාගය, චම්පික රණවකලා, සජිත් ප්‍රේමදාසලා සහ දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය කියන සියලු දේශපාලන පක්ෂ ඉතා පැහැදිලිව මේ රට දුර්වල රාජ්‍යයක් කිරීමේ මෙහෙයුමේ නිරතවෙලා ඉන්වා.

මේ කාටුන් එකේ පෙන්වපු විදිහට මේ සියලු දෙනාම එකම අරමුණක් කරා ක්‍රියාත්මක වෙන එකම කණ්ඩායමක, එකම ක්‍රීඩකයෝ. ඒ ක්‍රීඩාංගනයේ විවිධ තැන්වල  ඔවුන්ට චරිත නිරූපණය වෙලා තියෙනවා. ගෝල් කීපර්ගේ චරිතය වෙනම තියෙනවා. ඉදිරි ආරක්ෂක කණ්ඩායමට වෙනම තියෙනවා. පසුපෙළ කණ්ඩායම වෙනම ඉන්වා. මේ සියලුම දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ නියෝජිතයෝ මේ අවසාන ඉලක්කය වන ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කරලා කෑලි කැඩීමේ ව්‍යාපෘතියේ ඔවුන්ට පැවරිච්ච වගකීම තමයි පෙන්වන්නේ.

ඒ නිසා අපි මේ රටේ ජනතාවට ඉතා පැහැදිලිව කියනවා, මේ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුළුවට ඇවිල්ලා ඉවරවෙලා මූනිච්චාවට, සංහිඳියාව කියන එක, සමගිය කියන එක පෙන්වලා ඉවරවෙලා මේ කරන දේශපාලන ප්‍රයෝගය ඉතා මැනවින් සහ ගැඹුරින් තේරුම් ගන්න කියලා.

මේ අවස්ථාවට  සහභාගි වෙලා යන ටී.එන්.ඒ. සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනිකුත් කණ්ඩායම්වල අය කියනවා දෙමළ ජනතාවගේ නොවිසඳුණු  ප්‍රශ්න විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරාධනාවක් කළා ලු. අපි අහන්න කැමැතිය දෙමළ ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්නේ මොකක්ද කියලා ?

දෙමළ ජාතික මන්ත්‍රීවරුන්ට පෙන්වන්න පුළුවන් නම් මේ රටේ අනිත් පළාත්වල ජීවත් වෙන සිංහල, දෙමළ මිනිස්සුන්ට නැති උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නෙ මොකද්ද? වතුකරේ කම්කරුවන්ට නැති ප්‍රශ්නයක්  මොනවා හරි උතුරේ ජනතාවට තියෙනවද? මේ රටේ මේ ආර්ථික අර්බුදය නිසා මේ සිංහල ජනතාවට ඇති වෙලා තියෙන පීඩාවට එහා ගිය ප්‍රශ්නයක් හෝ ඔවුන් වෙනම වාර්ගිකත්වයක් තියෙන නිසා විශේෂ අනන්‍ය වූ ප්‍රශ්නයක් දෙමළ ජනතාවට තියෙනවද කියලා අපි අහන්න කැමැතියි.

ඒ අතරතුරේ මේ ව්‍යාජ ප්‍රශ්න මවලා ඉවරවෙලා ජාත්‍යන්තරයට ගතු කියන එක තමයි දෙමළ ජාතික සන්ධානය එදා ඉඳන් කළේ. ඔවුන් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය තියෙන කොට ඒ ත්‍රස්තවාදි සපත්තුවට පෑගිලා එක වචනයක් ඊට එරෙහිව කථා කළේ නෑ. හැබැයි රණ විරුවන් විසින් ප්‍රභාකරන් ඝාතනය කරලා ඉවර වෙලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්නට පස්සේ තමයි ඔවුන්ට සියලු අයිතිවාසිකම් මතක් වෙලා තියෙන්නේ.

දැන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු මේ මන්ත්‍රී කණ්ඩායම අහන ප්‍රශ්නේ තමයි අපි, හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන උතුර සහ නැගෙනහිර පළාත්වල තියෙන ඉඩම් වහාම ලබා දෙන්න කියන එක. මේ අවස්ථාව වන විට අපි සතුව දත්ත තියෙනවා, අද නෙමෙයි  2018 වෙන කොට 2009 දි අපේ හමුදාව විසින් අත්පත් කරගෙන හිටපු නැත්නම් හමුදාව තමන්ගේ හමුදා කඳවුරු පවත්වාගත්ත ඉඩම් ප්‍රමාණය අක්කර අසූ හතරදහස් පන්සිය විසි තුනයි (84,523).

2018 වෙන කොට මේකෙන් අක්කර හැට නව දහස් හත්සිය පනස් හතරක් (69,754) නිදහස් කරලා තියෙනවා. 2018 වෙනකොට මුලින්ම යාපනය දිස්ත්‍රික්කයේ ඉඳලා තියෙන්නේ හමුදාව අක්කර විසිපන්දහස් දෙසිය දෙකයි (25,202). හැබැයි 2018 වෙනකොට ඒකෙන් විසිහතර දහස් හාරසිය අනූ හයක් (24,496) නිදහස් කරලා තියෙනවා. කිලිනොච්චියේ අක්කර එකොළොස් දහස් නවසිය එකොළහයි (11,911) ඒකෙන් අක්කර හත් දහස් එකසිය විසි හයක් (7,126) නිදහස් කරලා තියෙනවා.

ඊළඟට මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර හත්දහස් තුන්සිය තිස් එකක් (7,331) තමයි යුද අවස්ථාව වෙනකොට හමුදාව හිටියේ, මේ වන විට අක්කර හය දහස් දෙසිය පනහක් (6,250) නිදහස් කරලා තියෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  98.5% ක් හමුදාව යටතේ තිබිච්ච ඉඩම් මේ වන විට බාර දීලා අවසන් වෙලා තියෙනවා. මේ වන විට හමුදාව සහ රජයේ තොරතුරු අනුව තවමත් නිදහස් නොකළ ඉඩම් තියෙන්නේ අක්කර හාරදහස් දෙසිය විස්සක් (4220) පමණයි.

මේ අක්කර 4220 පෞද්ගලික ඉඩම්. මේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ට බාර දීමට හැකියාව තියෙන්නේ ඒ ඉඩම්වල හිමිකරුවෝ ඇවිල්ලා තමන්ගේ අයිතිය තහවුරු කළොත් විතරයි. ඒ නිසා ඉතාම සාවද්‍ය අමූලික බොරු මත පදනම් වෙලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමයි මේ දෙමළ මන්ත්‍රී කණ්ඩායම් මේක පාවිච්චි කරන්නේ.

අපි දන්නවා මේ වන විට මේ රටේ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය. අපි දන්නවා  රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනීවා නුවරට ගිහිල්ලා අපේ රට ජිනීවා අර්බුදයකට යටත් කරලා, අත්දෙක උස්සලා දණ ගහලා ඉවරවෙලා අපේ රණවිරුවෝ මර්දනය කළා. අපේ රටේ දේශපාලන ස්වාධිපත්‍ය පාවා දුන්නා.  ඒ වැඩපිළිවෙළ තමයි එතුමා ක්‍රියාත්මක කරන්නේ. මේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා 2016 දි එතුමා විසින් පත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කරපු”මධ්‍ය පරිධිය වාර්තාව”.

මේ “මධ්‍ය පරිධිය වාර්තාව” ඉතා පැහැදිලිව කියන දේ තමයි මේ රටේ පළාත් සභා ක්‍රමයේ සඵල ක්‍රියාකාරිත්වයට මේ රටේ ඒකීය ආණ්ඩු ක්‍රමය බාධාවක් කියන එක. එහෙනම් මේ යෝජනාවලියේ තියෙන දේවල් තමයි දැන් ඔවුන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හරහා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ රටේ ඒකීය රාජ්‍ය කියන එක දිය කරලා හරින්න.

දැන් මේ අවස්ථාව වන විට මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අපි “තර්ටීන් ප්ලස්” ලු. මේකෙ “තර්ටීන් ප්ලස්” (13+) කරන්න දෙයක් නෑ ! මහින්ද රාජපක්ෂ මහත්තයට අපි කියන්නේ,  අමුතුවෙන් “තර්ටීන් ප්ලස්” කරන්න දෙයක් නෑ. අපේ රටේ “ඒකීයයි” කියන වචනේ තිබුණට 1987 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ එක විනිශ්චයකාරවරයෙක්ගේ තීන්දුවකින් මේක ෆෙඩරල් නෙමෙයි කියලා තීරණය වුණාට, අපිට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දීලා තියෙන්නේ ඔන්න මෙන්න ෆෙඩරල් එකක්.

මේක ලෝකෙ කොහේවත් රටක මේ වගේ ඒකීය රාජ්‍යයක් නෑ. ඒකීය රාජ්‍යයේ මධ්‍යම ආණ්ඩුවට නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට ඕනෑම ප්‍රදේශයක, ඕනෑම ප්‍රාන්තයක, පළාත් සභාවක නීති සම්පාදනය කිරීමට උඩින් තියෙන බලයක් තියෙන්න ඕන. හැබැයි අපේ රටේ අපි මේ උත්තරීතරයි කියන ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න බෑ පළාත් සභා ලැයිස්තුව සම්බන්ධයෙන්.

පළාත් සභා ලැයිස්තුව සම්බන්ධයෙන් හදන නීතියක් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් (2/3) ගන්න. එතකොට ඒකේ උත්තරීතර බව තියෙන්නේ පාර්ලිමේන්තුවට ද ? පළාත් සභාවට ද? ඉතා පැහැදිළිව මේ තුළ උත්තරීතර භාවය තියෙන්නේ පළාත් සභාවට මිසක් මධ්‍යම ආණ්ඩුවේ තියෙන ජයවර්ධනපුර පාර්ලිමේන්තුවට නෙමෙයි.

ඒ නිසා අපි පාර්ලිමේන්තුව හදන නීතියක් පාර්ලිමේන්තුවට පුළුවන් තමන්ගේ සාමාන්‍ය ඡන්ද බලයෙන් නිශේධනය කරලා දාන්න. හැබැයි පළාත් සභාවක් හදන නීතියක්, පළාත් සභා විෂය සම්බන්ධයෙන් හදන නීතියක් ඉවත් කරන්න නම් අපිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් (2/3) ගන්න.

අපි දන්නවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් (2/3) ඕන වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සශෝධනය කිරීම හා සමාන දුෂ්කර කර්තව්‍යයක් තමයි මේ උතුර හා නැගෙනහිර ඇතුළු ව පළාත් සභාව විසින් හදන නීතියක් සම්පාදනය කිරීමේ දී අපට සිද්ධ වෙන්නේ.

ඒ ව‍ගේම තමයි මේ දෙමළ කණ්ඩායම් සහ අනිකුත් අය යෝජනා කරනවා අපේ ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙන්න කියලා.  අපි “එක රටක් – එක නීතියක්” කියලා ආපු ආණ්ඩුවකට ලැබුණු ජන වරමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.  පොලිස් බලතල මේ පළාත් සභාවට ලබා දුන්නහම නීති සම්පාදනය කරන්නේ කවුද? වරදක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ කවුද? වරද විග්‍රහ කරන්න නීති ගේන්නේ කවුද? වරද අධිකරණයට පණවන්නේ කවුද ? ඒ ඒ පළාත් අධිකරණ විසින්. ඒ ඒ පළාත් පොලිසි විසින්.

අර ඇමරිකා එක්සත් ජනපදය වගේ විශාල ප්‍රාන්ත තියෙන රාජ්‍යවල ඒ ඒ ප්‍රාන්තයට අනුගත වෙච්ච නීති සම්ප්‍රදායන් තිබුණට අපේ රටේ තියෙන්නේ එක නීතියක් විතරයි. ඒ අනුව මේ පළාත්සභාවලට පොලිස් බලතල ලබා දීමෙන් “එක රටක් – එක නීතියක්”  කියන එක බරපතල විදිහට උල්ලංඝනය වෙනවා. ඒ නීතියේ ආධිපත්‍යය, නීතියේ සමාන පැවැත්ම උල්ලංඝනය වෙනවා කියන එක අපි මතක් කරන්න කැමැතියි. 

ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයාට එදා ඉඳන් ම ලොකු උවමනාවක් තියෙනවා, මේ රටේ ඉඩම් බලතල ටික මේ පළාත්සභාවලට දෙන්න. මේ 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන්න 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවී තියෙන්නේ මේතාක් දුරට ඉඩම හා පොලිස් බලතල ක්‍රියාත්මක නොකිරීම මත විතරයි. මේ පොලිස් සහ ඉඩම් බලතල දුන්නාම මොකද්ද අපේ රටට සිද්ධ වෙන්නේ?

අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිය පාර බලයට පත් වෙච්ච වෙලාවේ,  ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් උත්සාහ කළා මේ මහවැලි අධිකාරිය සතුව තියෙන ඉඩම් බලතල, ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩම් බලතල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා දෙන්න. මේ ප්‍රාදේශීය ලේකම්වරු  උතුර සහ නැගෙනහිර පළාත්වල ඉන්න දේශපාලකයන් ගේ අණසක යටතේ ඉන්න අය. එතකොට ඒ දේශපාලකයන්ගේ අණසක සටතේ ඉන්න අය  තමන්ගේ ඉඩම් බලතල ටික ගත්තට පස්සේ ඒ ඒ ප්‍රදේශයේ තමන්ගේ උවමනාවන් අනුව බෙදා දෙනවා කියන එක නවත්තන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

විශේෂයෙන් ම අපි මතක් කරන්න කැමැතියි, මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ රටේ ජාති මාමක පිරිස්වලටත් අපි කියන්න කැමැතියි අපේ රටේ බෞද්ධ උරුමයෙන්, පුරාවිද්‍යා උරුමයෙන් 75% ක් තියෙන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වල. වව්නියාව දිස්ත්‍රික්කයේ ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ වගේ නැගෙනහිර පළාත්වල. මේ ඉඩම් සම්බන්ධ බලතල ටික ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන්නොත් අපේ පුරා විද්‍යාව සහ ජාතික උරුමය සම්බන්ධයෙන්  අපට තියෙන  වගකීම, ආරක්ෂාව සහ රැකවරණය මොකද්ද?

ඒ නිසා අපි කියන්න කැමැතියි මේ ඉඩම් බලතල ලබා දීම කියලා කියන්නේ 13 වැනි සංශෝධනය එහාට යාම විතරක් නෙමෙයි අපි ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් (09 වගන්තිය) ආරක්ෂා කරලා තියෙන බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දෙනවා කියන වගන්තියත් මුළුමනින් ම උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙනවා.

ඒ වගේම තමයි, චම්පික රණවක මහත්තයත්, අපිට මතකයි 2010 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්දෙ අවසන් කරලා පළාත් සභා ඡන්දෙ තියන්න ගියාම ඒකට විරෝධතාවය ප්‍රකාශ කළ පුද්ගලයා තමයි චම්පික රණවක. හැබැයි දැන් වෙනකොට ඔහුත් කියනවා අපි පළාත් සභා ඡන්දෙ තියන්න කැමැතියි කියලා. ඒ කියන්නේ මොකද් ද? ඔහුගේ දේශපාලන ස්ථාවරය මේ වන විට වෙනස් වෙලා තියෙනවා.

අපි ඉතා ම පරිස්සමෙන් මේ දේශපාලන චරිතය තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මොකද ? දවල්ට ස.ජ.බ. යේ සජිත් ප්‍රේමදාසත් එක්ක ඉඳගෙන රෑට රනිල් වික්‍රමසිංහත් එක්ක කෝපි බොන චම්පික රණවකට තමයි මේ පළාත් සභා උවමනාව තියෙන්නේ. අරගලේට ආපු ධනුෂ්ක රාමනායක, චම්පික රණවකගේ ගෝලයා අද වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන රැවටීම්වලට දේශපාලන විගඩම්වලට අහු වෙන්න එපා ! කියන එක අපි කියන්න කැමැතියි.

ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස කියනවා මේ සර්වපාක්ෂික සමුළුවට ඇවිල්ලා, ඒකීය රාජ්‍යයක් ඇතුළේ පුළුල් බලතල බෙදීමකට එකඟයි කියලා. ඒකීය රාජ්‍යයක් ඇතුළේ බලතල බෙදන්නේ කොහොමද කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා අපිට කියලා දෙන්න ඕනේ. එතුමාගේ ඇත්ත උවමනාව මොකද්ද කියන එකඅපිට කියන්න ඕන.

මේ මාස ගාණකට ඉස්සර එතුමා ගෙනවා 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට. අපි දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියට ඒ 21 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක් කළා. මේ පළාත් සභා සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට  තියෙන බලය රඳවා ගැනීමට තියෙන මූලිකම දේ, මූලිකම රැහැන තමයි ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරයා පත් කිරීම සහ ආණ්ඩුකාරවරයා  ඉවත් කිරීම සම්බන්ධයෙන් තියෙන බලතල.

21 වැනි සංශෝධනය ගෙනල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා  යෝජනා කළේ පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට තිබෙන බලය අයින් කරන්න කියන එක. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න කැමැතියි මේ සියලු දෙනා එකතු වෙලා කරන්න ලැහැස්ති වෙලා තියෙන්නේ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරලා ඉවර වෙලා ෆෙඩරල් එකේ ඊළඟ අදියරට යන්න.

අපි දන්නවා මේ දෙමළ බෙදුම්වාදයේ මූලික අදියරේ දී එක්දහස් නවසිය හතළිස් ගණන්වල  ෆෙඩරල් පක්ෂය කියලා ආපු අය, චෙල්වනායගම්ලා, මේ ගොල්ලෝ කියපු දෙයක් තමයි  අඩි 3ක් ඉස්සරහට ගිහිල්ලා, අඩි 2ක් පස්සට ආවොත් අපි අඩි 1ක් හැම තිස්සෙම ඉස්සරහට ගිහිල්ලා කියන එක. ඒ නිසා ඉතා පැහැදිලිව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න කියලා ජාත්‍යන්තර ප්‍රජාව පෙන්නලා දෙමළ ඩයස්පෝරාවෙ තියෙන මුදල් කන්දරාව පෙන්නලා රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් උත්සාහ කරන්නේ මේ සහචර කණ්ඩායමත් එක්ක එකතු වෙලා නැවත වතාවක් ඔවුන්ගේ ෆෙඩරල් උවමනාව ඉෂ්ට කර ගන්න.

අපි මතක් කරන්න ඕනෙ මේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ලා මේ රටේ ජනතාවගේ අභිලාෂයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් නෙවෙයි. 72 ව්‍යවස්ථාව වගේ 78 ව්‍යවස්ථාව වගේ මේ රටේ ජනතාවගේ වරමින් ආපු එකක් නෙවෙයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා කියන්නේ. රටට උඩින් ඇවිල්ලා අපේ රටට පරිප්පු දාලා ඉවරවෙලා කරපු ඉන්දියානු ආක්‍රමණයේ ප්‍රතිඵලයක්.

හැබැයි ඉන්දියාව කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ. අපි දන්නවා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි ව්‍යවස්ථාවේ තියෙනවා ජම්බුකාශ්මීර ප්‍රාන්තයට විශේෂ බලයක් දීලා තියෙනවා. ඒක මේ උතුර සහ නැගෙනහිර අපේ රටේ දීලා තියෙනවා වගේ විශේෂ බලයක් දීලා තියෙනවා. ජම්බුකාශ්මීර ප්‍රාන්තයට විශේෂ මූලික අයිතිවාසිකම් නීතියක් තියෙනවා. විශේෂ පුරවැසි අයිතිවාසිකම් පනතක් තියෙනවා. පුරවැසි බලය සම්බන්ධයෙන් වෙනම එකක් තියෙනවා. ජම්බුකාශ්මීර ප්‍රාන්තයට වෙනම  කොඩියක් තියෙනවා. දේපොළ නීතියක් තියෙනවා. මේ සියල්ල තිබිය දී වෙනම ප්‍රාන්තයක් විදිහට තිබුණා. 2014 දි 2018 දි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා මේ ජම්බුකාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබෙන සුවිශේෂී තත්වය අහෝසි කරන්න බැහැ කියලා. හැබැයි භාරතීය ජනතා පක්ෂය 2015 දි ජනවරමක් ඉල්ලුවා. ඒ වරම ලැබුණේ නෑ. 2019 දී මේ වගන්තිය අහෝසි කරලා ඉවරවෙලා නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල තියෙන තත්වෙට මේ ජම්බුකාශ්මීර ප්‍රාන්තය ගෙනාවා.

දැන් අපේ නායකයෝ හැමදාම කියන දේ තමයි ඉන්දියාව නිසා අපිට මේක කරන්න බෑ කියන එක. ඒ නිසා අපි කියන දේ තමයි ඉන්දියාව තමන්ගේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා සියලුම ප්‍රාන්ත එක මට්ටමට ගේන්න පූර්වාදර්ශය දීලා ඉවරයි. ඒ නිසා අපට තියෙන්නේ ඉන්දියාව ගිය පාරේ යන්න. මෝඩි ඇහුවොත් මෝඩිට කියන්න තියෙන්නේ, අයියේ ඔයා කරපු දේ අපට කරන්න බැරි නම් වැඩක් නෑ ! අපටත් මේ අවස්ථාව දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.

නමුත් ඉතා පැහැදිලිව කියන දේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015  දී ඔහුත් එක්ක එකතු වෙලා හිටපු අර දේදුණු සන්ධානයට පැවරිච්ච රට බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙළ ජයග්‍රහණයක් කරා අවසාන කිරීම සඳහා තමයි මේ සර්වපාක්ෂික පූට්ටුව අමුණගෙන තියෙන්නේ.

හැබැයි අපි මේ සඳහා අවස්ථාව දෙන්නේ නෑ. අපි මේ රටේ භික්ෂූන්වහන්සේලා සහ ජාති මාමක දේශප්‍රේමින් සහ ජාතික සංවිධාන එකතු කරගෙන 2015 දි ජනවරමින් ආපු රනිල් වික්‍රමසිංහ ව  හරවලා යැව්වා වගේ ම මේ වෙලාවේ පිනට ආපු රනිල් වික්‍රමසිංහව ආපහු හරවලා යවන එක අපිට ලොකු වැඩක් නෙවෙයි කියන එක විතරක් මතක් කරන්න කැමැතියි.”

ස්තුතියි.

-මාධ්‍ය ඒකකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *