About us – අපි ගැන

දේශප්‍රේමී ජාතික පෙරමුණ යනු කුමක්ද?

එය මෙරට ආර්ථිකය, සංස්කෘතිය, කලාව,  නිර්මාණය කළ, පෝෂණය කළ හා ආරක්ෂා කළ භූමි පුත්‍රයන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සඳහ එකතු වූ දේශප්‍රේමින්ගේ බලවේගයයි.

එය ප්‍රජාත්‍රන්තවාදයට නැමැති ඌණ නියෝජන ක්‍රමවේදයට වෙනස් වූ ජනසම්මතවාදය මත පදනම් වූ සම්මුතිකාමි දේශපාලන ව්‍යාපාරයකි. සම්මුතිවාදය යනු යම් කරුණක් හෝ ප්‍රවාදයක් සම්බන්ධයෙන් දිර්‍ඝව සාකච්ජා කිරිමෙන් අනතුරුව බහුතරයේ මතය අනුව නොව යුක්‍ති යුක්ත බව මත තීරණවවලට එළැඹීමයි.  සම්මුතිවාදය තුළ තරගයක්  හා මමත්වයක් නොමැති හෙයින් එය සියලු දෙනාගේම සහභාගිත්වය සහිත පොදු තීරණයකි.

දේශප්‍රේමි ජනතා පෙරමුණ තවත් දේශපාලන පක්ෂයක් හෝ පවතින පක්ෂවලට විකල්පයක් නොවේ. බ්‍රිතාන්‍යයන් විසින් සිය යටත් විජිත බෙදා වෙන් කර පාලනය කිරිම සඳහා වාර්ගිකත්වය පාවිච්චි කළේ යම් සේද ඊටත් වඩා ජාතින් හා වාර්ගිකත්වයන් බෙදා වෙන් කිරිමට පාර්ලිමේන්තුව සහ පක්ෂ ක්‍රමය  යොදා ගෙන ඇත.  ජන සම්මතවාදය තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වැනි තරගකාරි දේශපාලන අභිලාශයන් නියෝජනය නොකරන නිසා  අපි පක්ෂ ක්‍රමය ප්‍රතික්ෂේප කරමු. අපගේ අරමුණ  ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම විනා, පක්ෂයක අභිලාෂයන් දිනවීම නොවේ.  පක්ෂයක අනුකමිටුවක් හෝ වෘත්තිය සමිතිය ස්වරූපය ගත් ජාතික සංවිධාන අපි ප්‍රතික්ෂේප කරමු.

දේශප්‍රේමි ජාතික පෙරමූණ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේද? අප අපේක්ෂා කරන පක්ෂ විරහිත ජනසම්මතවාදි පාලනය බිහි කිරිමට දේශපාලන බලයක් අවශ්‍ය වේ. අප නියෝජනය කරන මතවාදයට දේශපාලන බලයක් ලබා ගැනිම සඳහා මැතිවරණ සඳහා අපගේ සංවිධානය වීසින් ශික්ෂණය කරන ලද පිරිසක් ඉදිරිපත් කරනු ලැබේ. අපගේ වෙනස වන්නේ, එය ජාතික බලවේගයේ එක් අනු කමිටුවක් නැතිනම් ජාතික අභිලාෂයන් දිනා ගැනිම සඳහා උපකරණයක් ලෙස යොදා ගැනිම මිස ජාතික බලවේගයේ දිශානතිය තීරණය කරන ගාමක බලවේගය පක්ෂය නොවිය යුතු බවයි.

සම්මුතිවාදි පාලන ක්‍රමය පහළ සිට ඉහළට බලය ගලා යන්නා වූ සංවිධාන ව්‍යුහයකි. ගම් මට්ටමින් පිහිටුවන ජන සභාව මූලික තැනුම් ඒකකය වන අතර එතැන් සිට ඉහළට යොමුවන ආසන බල මණ්ඩලවලින් සහ  ආසන බල මණ්ඩල නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවකින් එය සමන්විත වේ.

අපගෙ මතවාද සහ ප්‍රවාද අපේ දේශීය දැනුම් පද්ධතිය මත පිහිටා ඇත. එය මේ මහ පොළොවේ ජනනය වූ මේ පොළොව සමග අත්වැල් බැඳගත් ඊට අනුකූල වූ සරල ජිවන ක්‍රමයකින් ද ගොවිතැනකින්ද අපේම වෙදකම, වාරි තාක්ෂණය සහ අධ්‍යාපන මූලධර්මවලින් සමන්විත දැනුම් සම්භාරයකි.

අපගේ ප්‍රතිපත්තින් සහ භාවිතාවන්ගේ හරය සිංහල බෞද්ධ ආණ්ඩු ක්‍රම  මූලධර්මයන් මත පිහිටා ඇත. සිංහල බෞද්ධ ආණ්ඩු ක්‍රම මූලධර්මයන් යනු මුල් බුදු දහමින් උකහා ගත් ධර්මය ප්‍රායෝගිකව සිංහල පොළොව තුළ ක්‍රියාත්මක වූ අකාරයයි. දසරාජ ධර්මය එයින් ප්‍රධාන වෙයි. අප ඉල්ලා සිටින්නේ හිට්ලර් වැනි ඒකාධිපතියකු නොව බුදු සසුනේ ආරක්ෂාව අවශ්‍ය වූ තැන නොපැකිලව යුද්ධය පිළිබඳව තීරණය කිරිමට සෘජු තීරණ ගැනිමේ හැකියාවත් සටනින් පරාජය වු එළාර රජුගේ සොහොන අභියසදි හිස් වැසුම ගලවා ආචාර කිරිමට නියම කළ මෘදු බවින් පෝෂිත පාලකයෙකි. සතර සංග්‍රහ වස්තුවෙන් ජනතාව සතුටු කරන සතර අගතියෙන් ඈත් වු පාලකයෙකි. මිහිඳු හිමියන් අනුශාසනා කළ පරිදි රාජ්‍ය බලය පරම්පාරාවේ උරුමයක් නොව ජනතාව වෙනුවෙන්වු  භාරයක් ලෙස සලකන පාලන ක්‍රමයකි.

අපගේ ජාතික විමුක්ති අරගලය ආරම්භ වන්නේ ගැමුණු මහරජතුමාගේ “මාගේ මේ ව්‍යායාමය  රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණක්ම වේ” යන උදාන වාක්‍යයේ පිහිටා ඇත. ඉන් අදහස් කරන්නේ දේශප්‍රේමි ජාතික පෙරමුණ එහි සාමාජිකයන් පුහුණු කරන්නේ සම්බුදු සසුන සුරැකිමේ උත්තරීතර අරමුණ වෙනුවෙන් විනා ස්වාර්ථය වෙනුවෙන්  නොවන බවයි.

අපගේ අරගලයේ අවසානය ඇල්ලේපොළ නිළමේ තුමාගේ අවසන් ප්‍රකාශයේ ගැබ්ව ඇත. ‘‘සම්බුද්ධ ශාසනයත් දේශයත් ජාතියත් ආරක්ෂා කිරිමට දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දී ඇති අපට එම ඓතිහාසික වගකීමෙන් බැහැර වීමට හෝ  සටන් කර  පරාජය වීමට අයිතියක්  නොමැත. එය ජයග්‍රහණයෙන් නිමා නොවන්නේ නම් අපට ගෞරවණිය මරණයකට හිමිකම නොමැත.  දළදා හිමියන් ඉදිරියේ අප ලබා දි ඇති ප්‍රතිඥාව දිවිහිමියෙන් රකින්නට අපි සපථ කරමු.‘‘