මේ එලියට එන්නේ දේදුනු විප්ලවයේ දෙවැනි දිගහැරුම ද ?

පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ගැන හැමදෙනාම විවේචනය කරති. එහෙත් ඒ විසදීම උදෙසා වූ වැඩපිලිවෙළක් කිසිවෙක් ඉදිරිපත් කරනු දක්නට නොලැබේ. මේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික වීම වැළැක්වීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් යෝජනා කරනු ලබන වැඩපිළිවෙළයි.

දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව විරෝධතාවකට පිවිසීමට කටයුතු කිරීම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි එම විරෝධතාව රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව ජනතාව ඉල්ලා සිටින සහන , දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ලබාදීම ඉලක්ක කරගත යුතුය.

රටේ ජනතාව දේශපාලන කටයුතුවලට සක්‍රීය ලෙස සහභාගි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් පරිණාමයකි. නමුත් රටේ ඒකීයබව අභියෝගයට ලක්වන විට, රණවිරුවන් පාවා දෙන විට, ජාතික සම්පත් විදේශ රාජ්‍යයන්ට විකුණන විට මහා නිද්‍රාවක සිටි ජනතාව ගෑස් මිල ඉහළ යනවිට, විදුලිය කැපෙන කොට, ඉන්ධන පෝලිම්වල හිරවෙන කොට මහාපාරට පැමිණීම අපේ ජනතාවගේ දේශපාලන විඥානය තේරුම් ගැනීමට වැදගත් තවත් දර්ශකයකි. පවතින රජය කුමක් වුවත් තව මුදල් අච්චු ගසා හෝ ලෝකෙට ණය වී තෙල්, ගෑස්, විදුලිය අඩු මිලට දුන්නේ නම්, ජාතික සම්පත් විකුණුවත් ඒ දේවල් භුක්ති විඳිමින් සිටිනවා මිස රටට වෙන්නේ කුමක්දැයි නොදැන වගේ වගක් නැතුව සිටින බව නිසැකය. එසේ හෙයින් මෙය දේශපාලන විඥානයකින් බලගැන්වුණු ජනතා අරගලයක් නොව ජනතා විරෝධයකි.

දිවයිනේ සෑම දෙසකම පැවත්වෙන විරෝධතාවල එක් ප්‍රධාන සටන් පාඨයක් වන්නේ “ගෝඨා ගෙදර යනු’’ යන්නයි. විපක්ෂයේ දේශපාලන පක්ෂවලද ඉල්ලීම එයම වේ. වර්තමාන ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ වෙනයම් ආකාරයකින් ධුරය නතර වීමකදී සිදුවන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීමයි. ඒ අනුව ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බලකරන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනාධිපති ධුරය සඳහා තමන් විසින් යෝජනා කරන සුදුසු මන්ත්‍රිවරයා ජනතාවට හෙළි කළ යුතුය.

මේ අවස්ථාවේදි මහා මැතිවරණයක් පැවත්විය යුතුයැයි ජනතාව සහ විපක්ෂයේ කණ්ඩායම් ඉල්ලා සිටින්නේ නම් මහා මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව අනුව 2022 මාර්තු වන තෙක් ජනාධිපතිවරයාට බලයක් නැත. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවකින් ජනාධිපතිවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත පමණි. ඒ අනුව මහ මැතිවරණයකදී ජනතා මතය උරගා බැලිය යුතු යැයි කියනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය.

1978 ව්‍යවස්ථාව තුළ ජනාධිපති ධුරය ව්‍යවස්ථාදායකයෙන් ස්වාධීනව ස්ථාපිත කර ඇත්තේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමේ පදනම ඇතිවයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බාධාවක් නොමැති අතර 2001 දීත් 2019 දීත් විධායක ජනාධිපති සහ පාර්ලිමේන්‍තුව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් නියෝජනය කරන තත්ත්වයක් ඇතිවිය. මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුවන නිසා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත බලය සීමා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් අපේක්ෂා කළ සංවරණය සහ තුලනය ඇතිවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් වේ.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් තනි තනිව හෝ සන්ධානගතව ආණ්ඩුවක් පිහිටුවීමට සඳහා බහුතරය පෙන්වීම අවශ්‍ය වේ. හදිසි නීතීය අකුළා ගැනීමෙන් සහ අමාත්‍ය මණ්ඩලයේ බහුතරයක් ඉල්ලා අස්වීමෙන් පෙනෙන්නේ මේ විරෝධතාව ඉදිරියේ ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ආණ්ඩුව දණ ගසා ඇති බවයි. දැන් බෝලය ඇත්තේ පාර්ලිමේන්තුව සතුවයි. එහෙත් ඉහත නිශ්චිත ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉදිරිපත් නොවන්නේ නම්, හුදු අඛණ්ඩ අරගලය අවසානයේදි උභතෝකෝටිකයකට මැදිව රට අරාජිකත්වයට පත් වීම වැළැක්විය නොහැක.

විශේෂයෙන්ම පස් වැනිදා පාර්ලිමේන්‍තු විවාදයේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස් මේ ප්‍රවණතාව පසුපස ඇති ඇඟ කිලිපොළා යන දේශපාලන වුවමනාව තේරුම් ගැනීමට ඉතා වැදගත් හෝඩුවාවක් සපයයි. විරෝධතාවන්ට එක්ව ඇති සාමාන්‍ය ජනතාවට එවැනි දුෂ්ට වුවමනාවක් තිබිය නොහැකි නමුත් ඔවුන්ගේ අහිංසක විරෝධය එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා අපයෝජනය වෙමින් පවති.

විපක්ෂ නායකවරයාගේ යෝජනාව විධායක ජනාධිපති ධුරය වහා අහෝසි කිරීමයි. පට්ට ගැසූ පරණ සටන් පාඨයක් නැවත කර පින්නාගෙන එන්නේ රාජ්‍ය දුර්වල කිරීමට විනා වෙන කිසිවක් සඳහා නොවේ. සමානුපාතික නියෝජන ක්‍රමය නිසා බෙදී වෙන් වී ගිය පාර්ලිමේන්තුවක් පවතින විට පාර්ලිමේන්තුවේ බලය මත පිහිටන වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ අග්‍රාමාත්‍යවරකු සහිත ආණ්ඩුවක් දේශපාලන අස්ථාවරත්වයට පාර කැපීමකි. සමානුපාතික ක්‍රමය අහෝසි කළද මෙරට දේශපාලන පක්ෂ විසින් බිහිකර ඇති කෙබ්බ සංස්කෘතිය විසින් සමාජය තීරු තීරුවලට කඩා ඇත. කිසිදු කරුණක් කෙරෙහි ජාතික එකඟතාවක් ඇති කර ගැනීම දුෂ්කර තත්ත්වයකට පත්ව තිබියදී එවැනි රටක පාර්ලිමේන්තුව කුමන මැතිවරණයක් යටතේ හෝ ඒ සමාජ විභේදනය සහ අසමගිය පිළිඹිඹු කරනු ඇත. රටේ ආර්ථිකය බිංදුවට වැටී ඇති අවස්ථාවක මාසයක් කන්න ඉන්දියානු ණය ධාරාව මත ජීවත්වන තත්ත්වයක කුමන හෝ ව්‍යස්ථා සංශෝධනයක් ඉන්දියාව පිනවන පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල දෙන 13 පල්ස් එකක් බවට පත්වීම වැළැක්විය නොහැක. වැඩේ කෙරෙනවා නම් ඉන්දියාව තවත් ඩොලර් බිලියන තුන හතරක ණයක් ලෝභ නැතුව දෙන්නට නොපැකිළෙනු ඇත. අනෙක් අතට ආණ්ඩුව, ඩයස්පෝරාවෙන් පවා පිනට යමක් යදින මොහොතක සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශයට පත් කළ ආකාරයට ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් කේවල කිරීමට හොඳ වේදිකාවක් තනා ගනු ඇත. වර්ධරාජා පෙරුමාල්ගේ ඒකපාර්ශ්වික ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමේදි විපක්ෂ නායකතුමාගේ සදාදරණීය පියාණන් සතු විධායක බලය නොතිබුණේ නම් කුමක් වන්නේදැයි අබමල් රේණුවක හෝ අවබෝධයක් තිබේ නම් ඔහු මේ උගුලට පා නොතබනු ඇත.

තවද ඔහු සිහින දකින ආකාරයට එය සති දෙකකින් කළ හැක්කක් ද නොවේ. 2002 දී 19 වැනි සංශෝධනය සම්බන්ධ නඩුවේදිත් 2015 දි 19 වැනි සංශෝධනයේදිත් අවසාන වශයෙන් ජවිපේ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධන යෝජනාවේදිත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ විධායක ජනාධිපති ධුරය 3 වැනි ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය තුළින් සෘජුවම බලය ලබන නිසා එය අහෝසි කරන යෝජනාවක් සම්මත කිරිම සඳහා ජනමත විචාරණයකදි ජනතාවගේ කැමැත්ත ලැබිය යුතු බවයි.

අරමුණ එකක් වුවද සජිත්ගේ යෝජනාව පවතින ව්‍යස්ථාව තුළ ප්‍රායෝගික නොවන බව අනුර කුමාර දිසානායක හොඳින් දනියි. ඔහුගේ පාර්ලිමේන්තු කතාවේ හරය පවතින තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් තුළ විසඳා ගත නොහැකි නිසා පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව විසඳා ගත යුතු බවයි. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ, මුල්ම ඡන්දය දෙන පුද්ගලයාගේ ඇඟිලි කැපූ සන්නද්ධ ව්‍යාපාරයක නූතන සුදු කරපටි ප්‍රජාත්‍රන්තවාදි මංකොල්ලයේ මූලෝපාය මෙයයි. පාර්ලීමේන්තුවෙන් පිටත ව්‍යවස්ථාවට පරිබාහිරව විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රට අස්ථාවර කිරීම බරපතළ ප්‍රශ්නයක් බව විශේෂයෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

මේ එළියට එන්නේ වෙන කිසිවක් නොව 2015 දී මවුබිමේ ඒකීය බවට, රණවිරුවන්ට, දේශපාලන ස්ථාවරත්වයට, බුදු දහම සහ සිංහල සංස්කෘතියට එරෙහිව සංවිධානය වූ යහපාලන වෙස් ගත් සිංගප්පූරු එකඟතාවයේ සහ දේදුනු විප්ලවයේ දෙවන දිගහැරුමයි. එම නාටකයේ තිර පිටපත අනුව නළුවන් ඒ ආකාරයෙන්ම විවිධ ස්ථානවල තමන්ට හිමි චරිතය රඟපාමින් සිටිති.

එසේ හෙයින් පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් රට තුළ පැවතිය යුතු කෙටි කාලීන සහ දිගු කාලීන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා පහත සඳහන් ජාතික සම්මුතිය ඇති කිරීමට සංවිධානාත්මක ජනමතයක් සහ දේශපාලන පක්ෂද ඇතුළු සියලු බලවේග පෙළගැස්වීම සඳහා කටයුතු කළ යුතු බවට අපි යෝජනා කරමු

01 ජාතික ආර්ථික ප්‍රතිපත්තිය

1. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය,ආර්ථික ස්වාධිපත්‍යය තහවුරු කරන ආර්ථික සුරක්ෂිත බව සහ කෘෂිකර්මය කේන්ද්‍රිය වූ ආනයන ආදේශන පදනම් වූ පාරිභෝගිකවාදය අවම කරන, ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් බව සහතික කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තහවුරු කරන ආර්ථික දර්ශනයක් මත පදනම් විය යුතුය. පහත යෝජනා කරන ජාතික විධායක ආර්ථික සභාවේ කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් මෙම ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා විය යුතු අතර ඊට අනුකුල විය යුතුය.

02 ජාතික විධායක ආර්ථික සභාව

  1. රටේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සකස් කිරිම සඳහා ආර්ථිකය, දේශපාලනය සහ විදේශ සම්බන්ධතා පිළිබඳව දැනුමක් ඇති “ජාතික විධායක ආර්ථික සභාවක්” පිහිටුවිය යුත්තේය.
  2. එම සභාව පාර්ලිමේන්තුවේ 2/3 ක යෝජනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස ස්ථාපිත කළ යුත්තේය.
  3. එම සභාව විසින් ආර්ථික කාර්යක්ෂමතාව, සමාජ සාධාරණත්වය සහ පාරිසරික තිරසාරත්වය ඉලක්ක කරගත් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් ජාතික ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව සකස් කළ යුතුය.
  4. ජාතික ආර්ථික විධායක සභාව විසින් සකස් කරන ලද ආර්ථික වැඩසටහන පාර්ලිමේන්තුවේ 2/3 කින් අනුමත කර “ජාතික ආර්ථික සම්මුතිය” ලෙස සම්මත කළ යුතුය.
  5. එම වැඩසටහන කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පස් අවුරුදු වැඩපිළිවෙළක් අන්තර්කාලීනව ඉදිරිපත් කළ යුතුය.
  6. ජාතික විධායක ආර්ථික සභාව විසින් වාර්ෂික ආර්ථික ඉලක්කයන් ස්ථාපනය කළ යුතු අතර වාර්ෂිකව එහි ප්‍රගතිය සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
  7. පවතින පාර්ලිමේන්තුව සහ ඉදිරියේදි පත්වන පාර්ලිමේන්තුව නීති සම්පාදනය සහ අරමුදල් අනුමත කළ යුත්තේ ජාතික විධායක සභාව විසින් සකස් කරන ආර්ථික වැඩ පිළිවෙළ බලගැන්වීම සඳහා පමණක් විය යුතුය.
  8. අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හැර පාර්ලිමේ න්තුව නියෝජනය කරන පක්ෂවලින් සීමිත අමාත්‍යවරු සංඛ්‍යාවකින් යුත් අන්තර් කාලීන ආණ්ඩුවක් පත්කළ යුතුය. ජාතික ආර්ථික විධායක සභාව විසින් සකස් කරන ලද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ජාතික ආර්ථික සම්මුතිය බලාත්මක කිරීම ජනාධිපතිවරයා සහ අන්තර් කාලීන අමාත්‍ය මණ්ඩලය සතු වගකීම වන්නේය.
  9. ජාතික සම්මුතිය බලාත්මක කිරීම ඉදිරියේදි පැවත්වෙන මැතිවරණවලදී බලයට පත්වන රජයන් විසින් ක්‍රියාත්මක යුත්තේය.

03 මූලික ආර්ථික ප්‍රමුඛතා

  1. ආහාර සුරක්ෂිත බව කේන්ද්‍ර කරගත් දේශීය යෙදවුම් පදනම් වූ කෘෂි කර්මාන්තය ස්ථාපනය කිරීම.
  2. දේශීය අමුද්‍රව්‍ය සහ යෙදවුම් අගය වැඩි ආනයන ආදේශන කර්මාන්ත ස්ථාපනය කිරීම සහ ඊට අවශ්‍ය බදු සහ බදු නොවන ආරක්ෂණය ලබාදීම.
  3. දේශීය ඛනිජ සම්පත් පදනම් වූ අගය වැඩි කිරීමේ නිෂ්පාදන සඳහා වූ බැර කර්මාන්ත ඇති කිරීම.
  4. බලශක්ති ස්වාධිපත්‍ය තහවුරු කරමින් සූර්ය බලශක්තිය, ජල විදුලි බලය සහ සුළං බලය පදනම් වූ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ බලශක්ති දායකත්වය 80% ක් දක්වා වැඩි කිරීම
  5. (ආහාර ක්‍රමය) දේශීය වෙදකම ප්‍රචලිත කරමින් ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම මගින් නිරෝගී ශ්‍රම බළකායක් ඇති කිරීම සහ ඖෂධ ආනයන වියදම් සඳහා විකල්ප හඳුන්වා දීම.
  6. තරුණ සහ කාන්තා ශ්‍රම බළකාය රැකියා අභිමුඛ නිපුණතා මගින් බල ගැන්වීම මගින් ඔවුන්ට දේශීය සහ විදේශිය ශ්‍රම වෙළෙඳපොළ තුළ ඉහළ වැටුප් ලබාදීම සහ ස්වයං රැකියා සඳහා ණය සහ ප්‍රාග්ධන ආධාර, ව්‍යාපාරික දැනුම අඛණ්ඩව ලබාදීම සහ නිෂ්පාදන සඳහා වෙළෙපොළ පුළුල් කිරීමට කටයුතු කරන ආයතනයක් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීම.
  7. සාමුහිකත්වය පදනම් වූ ග්‍රාමීය ආර්ථික සභාවක් පිහිටුවීම මගින් ග්‍රාමීය ආර්ථිකය තුළ ජනතා සහභාගිත්වය සහ අයෝජනය ඉහළ නැංවීම.
  8. රාජ්‍ය සේවයේ ශ්‍රම අවශ්‍යතාව වහාම සංගණනය කර අතිරික්ත සේවකයන් පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එක්ව කෙරෙන ව්‍යාපෘති සහ පුද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා අනුයුක්ත කිරීම.

04 නීතියේ ආධිපත්‍යය

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙන්ම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා

  1. දේශපාලඥයන් සහ සියලුම රජයේ සේවකයන්ට මහජන ධුරයේ ගෞරවය ආරක්ෂා කිරීම බලකරන , එසේ නොකිරීම ධුරය අහිමි වීම හා දඩ මුදල් ඇතුළත් දඬුවම් සහිත නීතීයෙන් බලාත්මක කළ හැකි ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
  2. . දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් විසින් ගනු ලබන තීන්දු සහ තීරණවලින් පැන නගින මූල්‍යමය හා මූල්‍යමය නොවන අලාභයන් සඳහා ප්‍රතිඵල සඳහා ඔවුන් වගකිව යුතු බව සහතික කරන නීති පද්ධතියක් ස්ථාපිත කිරීම.
  3. . දැනට පවතින අසීමිත අක්‍රමිකතා සහ දූෂණවල ප්‍රමාණය නිසා ඒ සඳහා මහාධිකරණයට සමාන බලතල ඇති විනිසුරුවන් තිදෙනකුට සමන්විත විශේෂිත අධිකරණ දෙකක් පිහිටුවීම. එම අධිකරණ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණන දෙපාර්තමේන්තුවට අනුබද්ධව විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවිය යුතු බවට ද එම අධිකරණයට පැමිණිලි කිරීමේ බලය සෑම පුරවැසියකුම සතු විය යුතුය. එම අධිකරණය විසින් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි සහ රාජ්‍ය මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් නඩු විභාග කිරීම, දඬුවම් කිරීම සහ වරදකරුවන් සතු දෙස් විදෙස් වත්කම් පවරා ගත හැකි පරිදි අතීතයට බලපවත්නා පරිදි නීති සම්පාදනය කළ යුතුය.
  4. රාජ්‍ය මූල්‍යය විධිමත් ලෙස උපයෝජනය කරන බවට සහතික කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හා සමාන පරීක්ෂණ බලතල සහිත ව්‍යවස්ථාදායකට වගකියන ස්වාධීන විගණන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම. මූල්‍යමය වංචාවන් සහ නොසැලකිලිමත් ලෙස රාජ්‍ය මුදල් නාස්තිකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ වගකීම විගණන දෙපාර්තමේන්තුවට තිබිය යුතුය.
  5. රාජ්‍ය ආයතනවල සේවා ප්‍රමිතින් සහ කාල නීර්ණයන් ස්ථාපිත කිරීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විවෘත කිරීම මගින් අකාර්යක්ෂමතා හේතුවෙන් ඇතිවන ආයතනික අක්‍රමිකතා වැළැක්විය යුතු බවට ද (උදා.වශයෙන් පළාත් පාලන ආයතනවල සැලසුම් අනුමත කිරීම සඳහා නියමිත තොරතුරු ජනතාවට පූර්ව වශයෙන් ලබා දීම සහ සැලසුම් අනුමත කිරීම නියමිත කාල රාමුවක් තුළ කළ යුතු බවට නියමයන් පැනවීම)
  6. ආයතනික වශයෙන් විය හැකි වංචනික බැඳියාවන් (කූට්ටනයන්) වැළැක්වීම සඳහා සංවරණ හා පරික්ෂණ ක්‍රම වේදයන් සහ පරිචයන් නීතිමය අධිකාරයෙන් බල ගැන්විය යුතුය.

05 විදේශ ආයෝජන සහ ගිවිසුම්

  1. සියලු ජාත්‍යන්තර ගිවිසුම් ජාතික ආර්ථික සම්මුතියට අනුකූලවන බවට ආර්ථික විධායක සභාව සහතික කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කළ යුතුය.
  2. සෑම විදේශ ගිවිසුමක්ම බලපවත්නා කාලය උපරිම වසර 20 ක් දක්වා සීමා විය යුතු අතර දීර්ඝ කිරීම නැවත සලකා බැලීමකින් පසුව පමණක් විය යුතුය.
  3. දැනට ආර්ථික මර්මස්ථාන සහ කේන්ද්‍රීය ආර්ථික සේවාවන් සම්බන්ධයෙන් අත්සන් කර ඇති විදේශ ගිවිසුම් ජාතික ආර්ථික සම්මුතියට අනුකූලව නැවත සමාලෝචනය කර සපුරා අවලංගු කිරීමට හෝ රටට වාසි සහගත ලෙස සංශෝධනය කළ යුතුය.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
ලේකම් – දේශප්‍රේමී ජාතික පෙරමුණ

උපුටා ගැනීම : අරුණ – 2022/04/07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *