13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

2023 ජනවාරි 28

ගෞරවණිය භික්ෂුන් වහන්ස,

 අන්‍යාගමික පුජක වරුනි,

දේශප්‍රේමි රට වැසියනි,

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

තමන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාල  පොලිස් සහ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම  බලාත්මක කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (27දා ) පැවති පාර්ලිමේන්ත්තු මන්ත්‍රි වරුන් සමග පැවති සාකච්චාවේදි ප්‍රකාශ කල බව මාධ්‍ය වාර්තා මගින් අනාවරණය විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලායෑමෙන් පසුව රට තුල උද්ගත වු අස්ථාවර තත්වය තුල  අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීමට තරම් ප්‍රමාණවත් මහජන වරමකින් තොරව ජනාධිපතිධුරයට  පත්වු රනිල් වික්‍රමසිංහට සිය සිතැඟියාවන් පරිදි 13 වන සංශෝධනය බලාත්මක කිරිමට කිසිදු බලයක් හෝ සුජාත අයිතියක් නොමැති බව අපි ප්‍රකාශ කරමු.

රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීම , සී.වී විග්නේෂ්වරන් හෝ අතුරලියේ රතන හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට සමාන කල හැකි නොවේ. ආසන්තම පෙරපාර්ලීමේන්තුවේ බහුතර බලය ලබා සිටි ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය, ඊළග මැතිවරණයෙදි  ජාතික ලැයිස්තුවේ 01 ආසනයකට සීමා කිරිම මගින් 2015-2019 රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේප්‍රධානතම ව්‍යාපෘතිය වු  බලය බෙදිමේ ෆෙඩරල් ව්‍යවස්ථා උවමනාව මුළුමනින්ම ජනතාව විසින්  ප්‍රතික්ෂේප කර ඇති බව සනාථ වේ. එවැනි සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරිමකට ලක්වු ජනාධිපතිවරයකුට ඔහුගේ අභිලාෂය පරිදි ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිදු ජනවරමක් නොමැති බව අපි නැවත නැවත අවධාරණය කරමු.

මෙම සාකච්චාවේදි ජනාධිපතිවරයා ඔහු සතු විධායක බලය සම්බන්ධයෙන් උදම් අනමින් ව්‍යවස්ථා ඔස්තාජ්වරයෙක් වශයෙන් කතා කල ස්වරූපය 2015-2019 කාලය තුල පාර්ලීමේන්තුවේදි බලයෙන් උමතු වී හැසිරුණු වියරු සහ උද්දච්ච ස්වරූපය යළි සිහිපත් කරයි. ඔහු පසුපස සිටින කවුරුන් හෝ විසින් ලබාදී ඇති අඥාණ උපදෙසක් මත  තමා විසින් ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ඇතුලත් බලතල බවට ඔහු පුනපුනා ප්‍රකාශ කරයි.

ඔහුගේ මාමණ්ඩියහිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන  විසින් 13  සංශෝධනයට ව්‍යවස්ථාවට ඇතුලත් කල අකාරය රනිල් වික්‍රමසිංහට සිහිපත් කිරිම අපගේ වගකීමක් වන අතර ඒ පිළිබඳව  ගෞරවනිය මහා සංඝරත්නයේ සහ මෙරට ජනතාවගේ අවධානය  යොමු විය යුතුය.

13 ව්‍යවස්ථා සංශෝධනය 1987 ඉන්දියානු ආක්‍රමණයේ සෘජු ප්‍රතිපලයකි. ස්වෛරි රටක් වශයෙන් එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ඥප්තියේ  2(1) වගන්තිය අනුව  අපිට හීමි සියලු ජාත්‍යන්තර අයිතිවාසිකම් උල්ලංගණය කරමින් ඉන්දියානු බලහත්කාරය මත පනවන ලද 13 වන සංශෝධනය මෙරට ජනතාව නැමැති ප්‍රජාත්‍රන්තවාදයේ උල්පතින් ගලා ආ පිරිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොවේ. යුධ අපරාධ පිළිබඳව රෝම ප්‍රඥ්ඥප්තියේ 08 වන වගන්තිය අනුව වෙනත් රටක ගුවන් සීමාව ආක්‍රමණය කිරිම (Crime of Aggression)  ජාත්‍යන්තර  යුධ අපරාධයකි. එසේම  1974 දෙසැම්බර් 14 දින දරන එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ  3314 (XXIX) යෝජනා සම්මතය අනුව කොයිතරම් තාවකාලික වුවද මිල්ටරි සහ දේශපාලන බලය යොදා වෙනත් ස්වෛරි රටකට  කරනු ලබන  මැදිහත්වීමක දේශ සීමා ආක්‍රමණයක් ලෙස අර්ථ දක්වා තිබේ.

තවද තමන්ගේ මාමණ්ඩිය විසින් 13  සංශෝධනය , ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල ආකාරය රනිල් වික්‍රමසිංහට සිහිපත් කිරිමට අපි කැමැත්තෙමු. 1977 දි සරල බහුතර මැතිවරණයෙන් ලැබුනු 5/6 ක බලය , ලාම්පු කලගෙඩි ප්‍රෝඩාව මගින්  ජේ.ආර් ජයවර්ධනගේ ප්‍රජාත්‍රන්තවිරෝධි  පාලනය 1987 දක්වා දිර්ඝ කර ගැනිමේන් ජනතාවට තම මතය ප්‍රකාශයට පත් කිරිමට තිබු  මැතිවරණ සිතියම හකුලා දමමින් 13 වන සංශෝධනය , ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලදි. සියලුම මන්ත්‍රිවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගනිමින් පාර්ලීමේන්තු මන්ත්‍රිවරයකුට හිමි විය යුතු තම හෘද සාක්ෂියට අනුව කටයුතු කිරිමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝණය කරමින් ඔවුන්ගේ ගෙල  සිරකරමින්, පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් කොළඹ හෝටල් වලට ගාල් කරමින් 13 සංශෝධනය  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද බව ආසියාවේ ප්‍රජාතන්ත්‍රිකවාදින්ගේ සංගමයේ ව්‍යාජ ප්‍රතිරූපකයා වු රනිල් වික්‍ර්මසිංහට අපි සිහිපත් කරමු. ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව මෙරට දේශප්‍රේමි ජනතාව ගෙන ගිය විරෝධය, සිය වියරු ඒකාධිපතිත්වය මගින් මර්ධනය කරමින් භික්ෂුන් වහන්සේලා, විද්වතුන් සහ තරුණයන් 60,000 දහසකගේ මරණය  මතින් නීති විරෝධි අඳිරි නීතිය  යොදාගනිමින් 13 වන සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුලත් කල බව බව බටලන්දේ තාරුණ්‍ය වින්දනය කරමින් සිටි  රනිල් වික්‍රමසිංහට අපි සිහිපත් කරමු. 13 සංශෝධනය බලාත්මක කිරිම  උදම් ඇනිමට තරම් ගෞරවයක් නොව ලැජ්ජා සහගත ඓතිහාසික  අපවාදයක් බව ඊට අත ඔසවන කැබිනට් සාමාජිකයන් තේරුම් ගත යුතුය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තියට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස බලයට පත්වු ජනාධිපතිවරයාට පැවරි ඇති වගකීම වන්නේ ධූරය හැර ගිය ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සඳහා ධූරය ක්‍රියාත්මක කිරිමයි. එම බලතල ක්‍රියාත්මක කල යුත්තේ 2019 දි මෙරට ජනතාව විසින් 08 වන විධායක ජනාධිපතිවරයාට ලබාදුන් ජනවරමට අනුකුලව මිස ජනතාව විසින් සම්පූර්ණයෙන්ම  ප්‍රතික්ෂේප කල රනිල් වික්‍රමසිංහගේ  ෆෙඩරල්වාදි බලය බෙදිම බලාත්මක කිරිමට නොවේ. විධායක බලය, ජනමතයෙන් වියුක්ත වු හෝ අකාස්මික වුවක් නොවේ. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදාන මගින් ඔහුට විධායක බලය පැවරි තිබුණද එම බලතල මහජන මතයට අනුකූලව ජනවරමේ අභිලාශයන්ට සරානුකූලව ක්‍රියාත්මක වීම ප්‍රජාත්‍රන්තවාදයේ අත්‍යාවශ්‍ය උවමනාවකි. තවද රට තුල උද්ගත වු අස්ථාවර තත්වය යටතේ ජනාධිපතිවරයාට ලැබුනේ තාවකාලික සංක්‍රාන්ති බලයක් මිස ඔහු ඉදිරිපත් කල ප්‍රතිපත්ති අනුමත කරන  මහජන වරමක් නොවන බව අපි සිහිපත් කරමු.

ඒ අනුව 75 වන නිදහස් දිනයේදි මෙරට මහා සංඝරත්නය සහ දේශප්‍රේමි ජනතාව විසින් කල යුත්තේ තම හාමුපුතුන්ගේ සිදුවු බලය හුවමාරුව සැමරීම සඳහා 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරිම සඳහා රනිල් වික්‍රමසිංහට ඉඩ හැරිම  නොව  නුතන ඉතිහාසයේ නිර්ලජ්ජිත ඉන්දියානු ආක්‍රමණයෙන් මුළු මනින්ම නිදහස් වීමට පෙළ ගැසෙමින් ජේ.ආර් ජයවර්ධන , රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පරපුර විසින් උදුරා ගන්නා ලද ප්‍රජාතන්තවාදි අයිතිය යළි තහ්වුරු  කිරිම සඳහා 13 වන සංශෝධනය මුළුමනින්ම ව්‍යවස්ථාවෙන් බැහර කිරිමට පාලකයාට බල කිරිමයි.

රණ විරුවන්ගේ  ජීවිත මතින් ලෙයින් දහඩියෙන් රැක ගත් ඒකීය බව පාවා දෙමින් ඉතිහාසය ආපසු හැරවීමට රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ සහචරයන්ට   ඉඩ නොතබන බවට  අපි සපථ කරමු.

මෙයට

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

මධ්‍ය මණ්ඩල සභික

දේශප්‍රේමි ජාතික පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *